සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

8. සූකරඛත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙණෙහි වාසය කළ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් ඇමතූසේක.

[2] “කිමෙක්ද, ශාරිපුත්‍රය, ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම කිනම් කරුණක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද ඉතා ගෞරවයක් දක්වන්නේද?

“ස්වාමීනි, ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම නිරුත්තරවූ රහත් බව දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනයද කෙරෙහි අතිශයින් ගෞරව දක්වන්නේයයි කීය.

[3] “යහපති, යහපති, ශාරිපුත්‍රය, ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම නිරුත්තරවූ රහත් බව දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වයි. යමක් දකිමින් ක්ෂීණාශ්‍රව භික්ෂූතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද, තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේද, ඒ උතුම්වූ රහත් බව කවරේද?

[4] “ස්වාමීනි, මේ ශාසනයෙහි ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම සංසිඳීමට පැමිණෙන්නාවූ අවබොධයට පැමිණෙන්නාවූ සද්ධින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබොධයට පැමිණෙන්නාවූ විරියින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබොධයට පැමිණෙන්නාවූ සතින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබොධයට පැමිණෙන්නාවූ සමාධින්ද්‍රිය වඩයිද, සංසිඳීමට පැමිණෙන්නාවූ අවබොධයට පැමිණෙන්නාවූ පඤ්ඤින්ද්‍රිය වඩයිද, ස්වාමීනි, ඒ උතුම්වූ රහත්බව දකිමින් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද, තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේය.

[5] “යහපති, යහපති, ශාරිපුත්‍රය, උතුම්වූ රහත්බව දකිමින් මේ ක්ෂීණාශ්‍රව භික්ෂුතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව දක්වන්නේය. ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශ්‍රාවකයන් කෙරෙහිද යම්හෙයකින් අතිශයින් ගෞරව දක්වන්නේද,

සාරිපුත්තය, මේ අතිශයින් ගෞරව දැක්වීම යනු කවරේද?

[6] “ස්වාමීනි, මේ ශාසනයෙහි ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසයකරයිද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, ශික්ෂාවන් කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, සමාධිය කෙරෙහි ගෞරව සහිතව උසස්කොට සලකමින් වාසය කරයිද, (ස්වාමීනි) ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ යම් හෙතුවකින් ගෞරව දක්වන්නේද ස්වාමීනි, මෙය වනාහි ඒ ගෞරවයයි.

[7] “යහපති, යහපති, සාරිපුත්තය, මේ ක්ෂීණාශ්‍රව භික්ෂු තෙම තථාගතයන් වහන්සේ කෙරෙහිද තථාගත ශාසනය කෙරෙහිද අතිශයින් ගෞරව පවත්වයිද, මේ වනාහි ඒ ගෞරවයයි.”