සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

2. පාසාද කම්පන වර්ගය

8. ආසවක්ඛය සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)

“මහණෙනි, සතර ඉන්ද්‍රියයන් හොඳින් බහුල වශයෙන් වැඩූ මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිදීම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. කවර සතරක්හුගේද යත්?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයේම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.