සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
2. පාසාද කම්පන වර්ගය
9. ඉද්ධිපාද භාවනා සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)
“මහණෙනි, නුඹලාට ඉද්ධියත් ඉද්ධිපාදයත්, ඉද්ධිපාදයන් වැඩීමත් ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවත් කියන්නෙමි. එය අසව්.
“මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ නොයෙක් ඉද්ධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් වීය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම මුවහවීම බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මෙය ඉද්ධියයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් ඉද්ධිය ලැබීම පිණිස පවතියිද, මහණෙනි, එය ඉද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමනම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන් වැඩීමයයි කියනු ලැබේ.
“මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව නම් කවරේද? ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේදයත් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.