සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය
“මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හැර ඒ ජලය ක්ෂය වීමට කෙළවර වීමට පැමිණෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද ඒ ක්ෂයවූ කෙළවරවූ ගංගා එක්වන තැන ජලයත් ඉතිරිවූ දිය බින්දු දෙක තුනත් යන මෙයින් කුමක් නම් අතිශයන් බොහෝ වේද?
“ස්වාමීනි, ඒ ක්ෂය භාවයට ගියාවූ කෙළවරවූ ගංගා එක්වූ තැන ජලයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වෙයි. ගංගා එක්වූ තැන ජලය හා ඉතිරිවූ දිය බින්දු දෙක තුන සමාන කරන කල්හි ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි.