ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

5. ඔපවූය්හ ථෙරාපදානය

’’මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආජානීය අශ්වයෙක් දුනිමි. බුදුරජාණන් වහන්සේට (එම අශ්වයා) භාරකොට දී ස්වකීය ගෘහයට ගියෙමි.

’’උතුම් ධර්‍මයට දායාදීවූ (පදුමුත්තර) ශාස්තෘන් වහන්සේගේ නම්න් දෙවල නම්වූ අග්‍රශ්‍රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය. (පැමිණ මෙසේ කීය.)

’’භාග්‍යවත් තෙමේ සපත්තභාරය. (හෙවත් පාත්‍රය සහිත අටපිරිකර බර උසුලන්නේය.) උන්වහන්සේට ආජානීය අශ්ව තෙමේ කැප නොවේ. පසැස් ඇත්තාවූ බුදුරජ තෙම ඔබගේ අදහස දැන (එය) පිළිගත් සේක. (කියායි.)

’’ඉක්බිති මම වාතවේගය ඇති, ශීඝ්‍රව ගමන් යන වාහනයක්වූ සෛන්‍ධවයා මිළකොට (විකුණා) පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රිසිවූ (යෝග්‍ය පිරිකරක්) දුනිමි.

’’දෙව්ලොව හෝ මිනිස්ලොව යම් යම් භවයක උපදිම් නම් මට රිසිවූ වාත වේගය ඇති චිත්තයෝ උපදිත්.

’’යමෙක් උපසම්පදාව ලබත්ද, (ඔවුනට) එය ලාභයකි. මනා ලාභයකි. ඉදින් බුදු කෙනෙක් ලෙව්හි (පහළ) වන්නේ නම් නැවත පයිරුපාසනය කරන්නෙමි.

’’මම අටවිසි වරක් මහත් බල ඇති සතර මහා දිවයින් හා සිව්මහ සයුර කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ සතුරු රජුන් ජයගන්නා සුළුවූ ජම්බුසණ්ඩයට අධිපතිවූ සක්විති රජ වීමි.

’’මේ මාගේ පශ්චිම උත්පත්තියයි. අන්තිම ආත්ම භාවයයි. ජය-පරාජය දෙකම හැර නිශ්චල ස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.

’’සූතිස් දහස්වන කපෙහි මහත් බල ඇති සත් රුවණින් යුත්, මහත් තේජස් ඇති සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඔපවූය්හ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඔපවය්හත්ථෙරස්සාපදානං පඤ්චමං.