අංගුත්තර නිකාය

එක නිපාතය

20. අප්පමත්තක වර්ගය

333

ථලජාප්පක සූත්‍රය:—1. “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. වැලිදු යම් සත්ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.

(334–347 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ඡෙද මෙන් වෙති.)

334

අඤ්ඤත්‍ර මනුස්ස සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

335

පච්චන්තිමජාත සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දෙශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

336

දුප්පඤ්ඤ සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, මුළානොවූවාහු වෙත්ද, කෙළතොළු නොවූවාහු වෙත්ද, යහපත් අයහපත් ප්‍රකාශයන්හි අර්ථයන් දැනගැනීමට සමර්ථවූවාහු වෙත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්වකෙනෙක් ප්‍රඥා නැත්තාහු වෙත්ද, (මෝහයෙන් මුළාවූයේ වෙත්ද, කෙලතොල්ලෝවෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්හි අර්ථයන් දැනගැනීමට අසමර්ථ වූවාහු වෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

337

අවිජ්ජාගත සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යයන්ට ඇති ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූවාහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් අවිද්‍යාන්ධකාරයෙන් යුක්තවූවාහු අතිශයින් මුළා වූවාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

338

තථාගත දස්සන සූත්‍රය:—2. “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නොලබත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

339

ධම්මසවණ සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම සම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසනලද ධර්මවිනය ශ්‍රවණය කරන්ට ලබත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත් වැලිදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මවිනය ශ්‍රවණයට නොලබත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

340

ධම්මධාරණ සූත්‍රය:—2 “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් ධර්මය අසා සිතෙහි නොරදත්ද මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

341

අත්ථුපපරික්ඛා සූත්‍රය:—2. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ව කෙනෙක් ධාරණය කරනලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා නොකෙරෙත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

342

ධම්මානුධම්ම සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් අර්ථයනොදැන, ධර්මයනොදැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිනොපදිත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

343

සංවෙජනීයට්ඨාන සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් කලකිරියයුතු කාරණයන්හි කලකිරෙත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවෙග කටයුතු කාරණයන්හි සංවෙග නූපදවත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

344

සංවිග්ගප්පදහන සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් සංවේගයට පැමිණියාහු නුවණීන් (සම්‍යක් ප්‍රධාන) වීර්‍ය්‍යය කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවේගයට පැමිණියාහු (කළකිරුණාහු) නුවණින් (සම්‍යක්ප්‍රධාන) වීර්‍ය්‍යය නොකෙරෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

345

වවස්සග්ගාරම්මණ සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නිර්වාණය අරමුණුකොට චිත්තය සම්බන්ධවූ සමාධිය ලබත්ද, චිත්තය සම්බන්ධවූ එකඟ බව ලබත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් නිර්වානය අරමුණුකොට සිතේ සමාධිය නොලබත්ද, සිතේ එකඟබව නොලබත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

346

අන්නග්ගරසග්ගලාභී සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් ලැබීම් ඇත්තෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් නොලබන්නාහු උඤ්ජාචරිය යයි කියනලද වන මුල ඵලයෙන් හෝ කබලක් ගෙන සිඟා ලත් දෙයින් හෝ යැපෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

347

රසස්සලාභී සූත්‍රය:—2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථරසය (හෙවත් සෝවාන්ඵලය ආදී චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය) ද, ධර්ම රසය (හෙවත් සතරමග) ද, විමුක්ති රසය (හෙවත් නිර්වාණය) ද ලබන්නහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් අර්ථරසයද, ධර්ම රසයද, විමුක්ති රසයද නොලබන්නාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

3 “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය) ද, ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්ති රසය (නිර්වාණය) ද, ලබන්නෝ වන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.

348–​349

මනුස්ස මනුස්සුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍ය යොනියෙන් චුත වූවාහු මනුෂ්‍යයන් අතුරෙහි නැවත උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් මනුෂ්‍යයෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

350–​352

මනුස්ස දෙවුප්පත්ති සූත්‍රය:—“යම් සත්ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිද්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් තිරිසන්යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්”

353–​355

2. දෙව දෙවුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් මනුෂ්‍යයෝනියෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂය (ලොක) යෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

356–​358

2. දෙව මනුසුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් දෙවයොනියෙන් චුතවූවාහු දෙව ලොකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙවලෝකයෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. තිරිසන් යොනියෙහි උපදිත්ද, ප්‍රෙතවිෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.’

359–​361

දෙව මනුස්සුප්පති සූත්‍රය:—2 “මහණෙනි, එපරිද්දෙන්ම යම්සත්වකෙනෙක් දෙවලොකයෙන් චුතවූවාහු මනුෂ්‍ය විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙව ලොකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙතවිෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

362–​364

නිරය මනුස්සුප්පති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලොකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝ බොහෝවෙත්. තිරිසන්යොනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

365–​367

නිරයදෙවුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු දෙවලොකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. තිරිසන් යොනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

368–​370

තිරච්ඡාන මනුස්සුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු මනුෂ්‍යලොකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ බොහෝවෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

371–​373

තිරච්ඡාන දෙවුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු දෙවලොකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසන් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්වකෙනෙක් උපදිත්ද තිරිසන් යෝනියෙහි උපදිත්ද ප්‍රෙත ලොකයෙහි උපදිත්ද ඔවුහුම බොහෝ වෙත්.”

374–​375

පෙතමනුස්සුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රෙත විෂයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලොකයෙහි උපදිත්ද’ ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, තිරිසන් යොනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

376–​377

පෙත දෙවුප්පත්ති සූත්‍රය:—“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු දෙවලොකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්වූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, තිරිසන් යොනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

සතරවැනි වර්ගය නිමි.