අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

1. නිස්සය වර්‍ගය

7. ආනන්‍දසමාධිපටිලාභ සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. ’’ස්වාමීනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජසෙහි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මේ ලෝකයෙහි උපදනා ධ්‍යානයෙහි මේ ලෝකයෙහි උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? යම්බඳුවූ මේ දක්නා ලද්දය, අසන ලද්දය, ස්පර්‍ශ කරණ ලද්දය, දැනගන්නා ලද්දය, පැමිණෙන ලද්දය, සොයන ලද්දය, සිතින් අනුව හැසිරෙන ලද්දය, යන යමක් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥාව ඇත්තේ වන්නේද, එබඳුවු සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේදැ’’ යි ඇසුවේය.

’’ආනන්‍දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජසය යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැන ගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් එහිද සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙන් භික්‍ෂුවවට ඒ කෙසේ නම් වන්නේදැයි ස්වාමීනි, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුව කෙරෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලද, අසන ලද, ස්පර්‍ශ කරණ ලද, දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් අනුව හැසිරෙන ලද, මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවු සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට ඒ කෙසේ නම් වන්නේදැ’’ යි (විචාළේය.)

’’ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීමවූ, තෘෂ්ණාව නැසීමවූ, නො ඇල්මවූ, නිරෝධයවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි මෙබඳු සංඥා ඇත්තේ වේද, ආනන්‍දය, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, මෙසේ වනාහි භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය’’ යි වදාළේය.

සාරිපුත්ත සමාධි සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේට පැමිණ වැඳ, පැදකුණුකොට, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම, ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේද?’’

’’ආයුෂ්මත්වූ ආනන්‍දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොම වන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේය’’ යි කීයේය.

’’ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් ඇද්ද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේදැ?’’ යි විචාළේය.

’’ආයුෂ්මත්වු ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම හෙබඳු සංඥා ඇත්තේ වේ. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම් ඇති, සියලු කෙළෙසුන්ගේ දුරලීම ඇති, තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීම ඇති, නො ඇල්ම ඇත්තාවූ, නිරෝධයවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියායි. ආයුෂ්මත්වූ ආනන්‍දය, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ, නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤානඤ්චායතනයෙහි විඤ්ඤානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය යන මේ යමකුත් වේද? එහිදු සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේය’’ යි කීයේය.

’’ආයුෂ්මත්නි, යම් ශාසනයෙක්හි ශාස්තෘහුගේද, ශ්‍රාවකයන්ගේද, අත්‍ර්‍ථය සමග අත්‍ර්‍ථය තේරුමෙන් තේරුම බ්‍යඤ්ජනයන් සමග බ්‍යඤ්ජනය අකුරින් අකුර යම් මේ නිවණෙක්හි සංසන්‍දනය වන්නේද, සමාන වන්නේද, විරුද්ධ නොවන්නේද, මෙහ ආශ්චර්‍ය්‍යයයි, අද්භූතයෙකි. ආයුෂ්මත්නි, මම දැන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කරුණ විචාළෙමි. භාග්‍යවතුන් වහන්සේදමට මේ පදවලින්ම, ව්‍යඤ්ජනවලින්ම, මේ කරුණ වදාළ සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ යම්සේද, එමෙනි. යම් ශාසනයෙක්හි නම් ශාස්තෘහුගේද, ශ්‍රාවකයාගේද, අත්‍ර්‍ථය සමග අත්‍ර්‍ථය, බ්‍යඤ්ජනය සමග බ්‍යඤ්ජනය, යම් මේ නිවණෙක්හි සංසන්‍දනය වන්නේද, සමාන වන්නේද, විරුද්‍ධ නොවන්නේද, ආයුෂ්මත්නි, මෙය ආශ්චර්‍ය්‍යය, මෙය අද්භූතයයි කීයේය.