අංගුත්තර නිකාය

එක නිපාතය

4. දේවදූත වර්ගය

33. සංඛිත්ත චිත්ථාර දෙශනා සූත්‍රය

“ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍රයෙනි, මම වනාහි සංක්ෂෙපයෙන්ද ධර්මය දෙශනා කරන්නෙමි. ශාරිපුත්‍රයෙනි, මම විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරිපුත්‍රය, මම සංක්ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. අවබෝධ කරන්නෝ දුර්ලභයයි” වදාළේය.

“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන්ද ධර්මය දේශනා කරන්නේද විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, සංක්ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, භාග්‍යවතුන්වහන්ස, මීට කල්වන්නේය. සුගතයන් වහන්ස මීට කල්වන්නේය. ධර්මය අවබොධ කරන්නාහු වන්නාහුයයි” (සැළකෙළේය.)

“ශාරිපුත්‍රය, එසේනම් මෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද) විඤ්ඤාණය සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද මගේය යන තණ්හාවද මාන අනුශයද යන මොහු නොවන්නාහුද, බාහිරවූ සියලු නිමිතිවල මමය යන දෘෂ්ටියද මගේය යන තණ්හාවද මාන අනුශයද යන මොහු නොවෙද්ද ඒ අර්හත්ඵල සමාධියට ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කරන්නෙමුයි” (කියායි.)

‘ශාරිපුත්‍රය, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයයි (වදාළේය) ශාරිපුත්‍රය යම්තැනක පටන් මහණහුගේ මමය යන දෘෂ්ටියද මගේය යන තණ්හාවද මාන අනුශයද යන මොහු නොවෙද්ද ඒ අර්හත්ඵල සමාධියට ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කෙරෙයිද, ශාරිපුත්‍රය, මේ මහණතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජන උපුටා දැම්මේය, මානය ප්‍රහාණය කිරීම් වශයෙන් අවබොධකොට වට්ට දුක්ඛයාගේ දුක කෙළවර කෙළේයයි” කියනු ලැබේ.

“සාරිපුත්ත, මෙය වනාහි පාරායණයෙහි උදය ප්‍රශ්නයෙහි මේ සඳහා කියන ලදී.

(1) “කාම සංඥාවගේද, දොමනස්සයාගේද (යන) දෙදෙනාගේ ප්‍රහාණයවූද, ථිනමිද්ධයාගේ දුරුකිරීමවූද, කුක්කුච්චයාගේ වැළැක්මවූද උපෙක්ෂාවෙන් හා සතියෙන් පිරිසිදුවූ සම්‍යක් කල්පනාව ඉදිරියෙහි යන්නාවූ අවිද්‍යාවගේ බිඳීමවූ අර්හත්ඵලය ප්‍රකාශ කරමි.”