අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. ධම්මික වර්‍ගය
1. සෙතනාග සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, සැවැත්නුවර පිඬු පිණිස හැසුරුණ සේක. සැවැත්නුවර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුනේ, සවස් කාලයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. ’’ආනන්‍දය, යමු. මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි එළඹෙන්නෙමු.’’
’’එසේය, ස්වාමීනි’’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමය යම් තැනකද, එතැන්හි පැමිණි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. ’’ආනන්‍දය, යමු. පෙරදිග ජල කොටුව යම් තැනෙකද, ඇඟ සේදීමට එහි යමු.’’ - ’’එසේය, ස්වාමීනි,’’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග පෙරදිග ජලකොටුව යම් තැනකද, ඇඟ සේදීමට එතැන්හි පැමිණි සේක. පෙරදිග ජල කොටුවෙහි ඇඟ සෝදා ගොඩ නැගී, ශරීරයේ තෙත සිඳවමින්, අඳන සිවුර පමණක් ඇතිව වැඩ සිටි සේක. එසමයෙහි පසේනදි කොසොල් රජුගේ සෙත නම් ඇතා මහා තූර්‍ය්‍ය වාදන සහිතව ජල කොටුවෙන් ගොඩනගියි. මහජන තෙම ඒ ඇතා දක, ’රජුගේ මේ ඇතා දැකුම්කලුය. රජුගේ මේ ඇතා මනා රූ ඇත්තේය. රජුගේ මේ ඇතා දුටුවන් පහදවන්නේය. රජුගේ මේ ඇතා හොඳ ශරීරයකින් යුක්තය’ යි මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
’’ස්වාමීනි, මහත්වූ ශරීරයක් ඇති ඇතාම දැක ජන තෙම, ’පින්වතුනි, ඇතෙක්ය’ යි කීයේද, නැතහොත් අනික් මහත් ශරීරයක් ඇති වෙන කෙනෙකු දැක, ’පින්වතුනි, ඇතෙක්ය’ යි කීයේද ?’’
’’උදායීනි, මහත්වූ ශරීරයක් ඇති ඇතෙකු හෝ දැක ජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’ කියන්නේය. මහත්වූ ශරීරයක් ඇති අශ්වයකු හෝ දැක ජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. මහත්වූ ශරීරයක් ඇති ගොනෙකු හෝ දැක මහජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. උදායීනි, මහත්වූ ශරීරයක් ඇති සර්පයෙකු හෝ දැක මහජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. මහත්වූ කඳක් ඇති ගසක් හෝ දැක මහජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය. උදායීනි, මහත්වූ ශරීරයක් ඇති මිනිසකු හෝ දැක මහජන තෙම, ’ඇතෙක්ය,’ ඇතෙක්ය.’යි කියන්නේය.
’’උදායීනි, එසේ නමුදු යමෙක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් අතරෙහි කයින්, සිතින් හෝ වචනයෙන් වැරදි නොකෙරේද, මම ඔහුට ඇතෙක්යයි (නාගයයි) කියමි.’’
’’ස්වාමීනි, පුදුමයකි. ස්වාමීනි, හේ නොවූ දෙයකි. යම් යහපත් වචනයක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දේය. උදායීනි, එසේ නමුදු යමෙක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් අතරෙහි කයින්, සිතින් හෝ වචනයෙන් වැරදි නොකෙරේද, මම ඔහුට ඇතෙක්යයි (නාගයයි) කියමි. ස්වාමීනි, මම මේ භාග්‍යවතුන් වහන්සේගේ යහපත් වචනය මේ ගාථාවලින් අනුමෝදන් වෙමි.
(1) තමා විසින් දැමුනාවූ, එකඟවූ නිවන් මගෙහි වසන්නාවූ, සිත සන්සිඳවීමෙහි ඇළුනාවූ, මනුෂ්‍යවූ, සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියාවූ, සම්‍යක් සම්බුද්‍ධවූ යමකු මනුෂ්‍යයෝ නමස්කාර කෙරෙද්ද, සියලු සංයෝජනයන් ඉක්මෙව්වාවූ, ක්ලේශ වනයෙන් නික්ම, ක්ලේශ වන රහිත නිර්‍වාණයට පැමිණියාවූ, කාමයන් කෙරෙහි නික්මීමෙහි ඇලුනාවූ, මේරු පර්‍වතයෙන් නිකුත් ස්වර්‍ණයට බඳු පැහැ ඇති උන්වහන්සේට දෙවියෝද නමස්කාර කරත්යයි මෙසේ අර්හත්වූ ඔබ වහන්සේ සමීපයෙහි මා විසින් අසන ලද්දේය.
(2) ’’බුද්ධ නාගතෙම (ඇත්තෙම) අන්‍යවූ පර්‍වතයන් මැඩ බබලන්නාවූ, හිමාලය පර්‍වත රාජයා සේ සියලු සත්ත්‍වයන් ඉක්මවා බබලන සුලුය. නාග නම් ඇති එයට උතුම් අන්‍යයකු නැති සත්‍ය නම් ඇත්තේය.
(3) ’’යුෂ්මතුන්ට බුද්‍ධ නාගයා ප්‍රකාශ කරන්නෙමි. ඒ බුද්‍ධ නාගතෙම පාපය නොකරණ සේක. බුද්‍ධ නාගයාගේ ශුද්‍ධ ශීලයද, කරුණාවද යන දෙක පාදයෝ වෙත්.
(4) ’’ධුතඞ්ග සමාදානයද, ආර්‍ය්‍ය මාර්‍ග ශීලයද යන දෙක බුද්‍ධ නාගයාගේ අනික් පාදයෝ වෙත්. ඒ මහෝත්තම තෙම ශ්‍රද්‍ධාමයවූ සොඬින් යුක්තය. අඞ්ග සයක් ඇති උපෙක්‍ෂාමයවූ දළයෙන් යුක්තවේ.
(5) ’’හිස ආදියට බෙල්ල ආධාර මෙන් බුද්‍ධ නාගයාගේ සෙසු ධර්‍මයන්ට සිහිය ග්‍රීවය වේ. බුද්‍ධ නාගයාගේ සියලු ධර්‍මයන් දන්නාවූ සර්‍වඥතාඥාන හිස ඇත්තේ වේ. බුද්‍ධ නාගයාගේ දහම් කොටස් පිරිසිඳ දැනගන්නාවූ, දහම් සිතිවිලි නමැති සොඬ අග වන්නේය.. ධ්‍යාන සමාධිය කුස නම් වන්නේය. ඒ බුද්‍ධ නාගයාට විවේකය නමැති වාලධිය ඇත්තේය.
(6) ’’ඒ බුද්‍ධනාගතෙම ධ්‍යාන ඇත්තේය. ඵල සමාපත්තියෙහි ඇලීම ඇත්තේය. අධ්‍යාත්මයෙහි මනාව පිහිටවූ සිත් ඇත්තේය. බුද්ධනාගතෙම වඩින්නේද එකඟවූයේය. සිටියේද එකඟවූයේය. බුද්ධනාගතෙම සැතපෙන්නේද එකඟවූයේය. වැඩසිටියේද එකඟවූයේය.
(7) ’’බුද්ධනාගතෙම සැතපෙන්නේද එකඟවූයේය. වැඩහුන්නේද එකඟවූයේය. බුද්ධනාගතෙම සෑම ඉරියව්වෙහිම සංවර ඇත්තේය. බුද්ධනාගයාගේ මේ සම්පූර්‍ණබව වේ.
(8) ’’නිවැරදිවූ භෝජනයන් වළඳන සේක. දොෂ සහිත භෝජනයන් නොවළඳන සේක. චීවර පිණ්ඩපාතය ලැබ එකතුකොට තැබීම දුරු කරන්නේය.
(9) ’’කුඩාවූද, මහත්වූද සංයෝජනයයි කියන ලද සියලු සංසාර බන්‍ධනය සිඳ, යම් යම් දිශාභාගයක වඩින සේක්ද, ලෞකික බලාපොරොත්තු නැතිවම වඩින සේක.
(10) ’’යම්සේ ජලයෙහි හටගත්, පිරිසිදු සුවඳ ඇති, සිත්කලුවූ හෙළ පියුම වැඩේද, ජලයෙන් උඩම සිටීද, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි මනාව උපන්නාවූ සර්‍වඥතෙම සත්ත්‍වයා කෙරෙහි නොඇලෙයි. ලොකයා සමග ඇලී නොසිටින සේක. ජලය හා නොගැටෙන පියුම මෙනි.
(11) ’’දැල්වෙන්නාවූ මහා ගිනි කඳ ගින්න වැඩීමට හේතුවන දේ නොලැබීමෙන් නිවේද, එමෙන්ම සංස්කාරයන් සංසිඳුන කල්හි නිවුනේයයි කියනු ලැබේ.
(12) ’’අර්ත්‍ථය අඟවන්නාවූ මේ උපමාව නුවණැත්තාවූ කාලුදායි ස්ථවිරයන් විසින් (මෙයට පෙර) දේශනා කරණ ලදී. කාළුදායි ස්ථවිරයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද බුද්ධ නාගයා මහෝත්තමයෝ විශෙෂයෙන් දැනගන්නාහුය.
(13) ’’පහවූ රාගය ඇතිව, පහවූ ද්වේෂය ඇති, පහවූ මොහය ඇති, සෙසු කෙලෙස් නැති බුදද්‍ධනාගතෙම, ශරීරය දුරු කරන්නේ. ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවි හෙයින් ස්කන්‍ධ පරිනිර්‍වාණයෙන්ද පිරිනිවෙන්නේය.’’