සංයුත්තනිකායො
නිදාන වර්ගය
6. ලාභසක්කාර සංයුත්තය
4. සතරවැනි වර්ගය
6. රථ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක.
එකල්හි වනාහි අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස රථ පන්සියයකින් උදේ සවස යයි. ගෙන යායුතු බත් හැලි පන්සියයක්ද ගෙනයයි.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, අජාසත් කුමාරයා වනාහි දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යයි. ගෙන යායුතු බත් සැළි පන්සියයක්ද ගෙනයයි කියායි.”
“මහණෙනි, දේවදත්ත මහණහුගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට සතුටු නොවව්. මහණෙනි, යම්තාක් අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යන්නේද, ගෙන යායුතු බත්සැළි පන්සියයකුත් ගෙන යන්නේද, මහණෙනි, ඒතාක් දේවදත්ත මහණහට කුශල ධර්මයන්හි හානියක්ම කැමැතිවිය යුත්තේය. වෘද්ධියක් (වැඩීමක්) කැමැති නොවිය යුත්තේය.
“මහණෙනි, යම්සේ වනාහි නපුරු බල්ලෙකුගේ නාසයෙහි අශ්ව පිත හෝ මත්ස්‍ය පිත හෝ දමන්නේද, මහණෙනි එසේ වනාහි ඒ බල්ලා බොහෝ සෙයින් නපුරු වේද, මහණෙනි, එසේම වනාහි යම්තාක් අජාසත් කුමරු දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යන්නේ වේද, ගෙන යායුතු බත්සැළි පන්සියයකුත් ගෙන යන්නේ වේද, මහණෙනි, ඒතාක් දේවදත්ත මහණහට කුශල ධර්මයන්හි හානියක්ම කැමැතිවිය යුත්තේය. වෘද්ධියක් (වැඩීමක්) කැමැති නොවිය යුත්තේය.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(හයවෙනි රථ සූත්‍රය නිමි.)