සංයුත්තනිකායො
නිදාන වර්ගය
10. භික්ඛු සංයුත්තය
6. භද්දිය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරයන් දුරදීම දුටුසේක. දැක, මහණුන්හට කථා කළසේක. “මහණෙනි, තෙපි වනාහි එන්නාවූ, දුර්වර්ණවූ, විරූපීවූ, මිටිවූ, භික්ෂූන්ගේ හෙළාදැක්මට භාජනවූ, මේ මහණතෙම දකිව්ද?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි” කියායි.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.
(1) “කයෙහි සමානත්වයක් නැත්තාවූ, හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොනරුද, ඇත්තුද, ‘පසද’ නම් මුවෝද යන සියල්ලෝම සිංහයාහට බිය වෙති.”
(2) “එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නුමුත් ඒ කාරණයෙන් මහත් වෙයි. ශරීරය ඇත්තේවී නමුත් බාලතෙම මහත් නොවේයයි” වදාළසේක.
(හයවෙනි භද්දිය සූත්‍රය නිමි.)