සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

3. අට්ඨසත පරියාය වර්‍ගය

4. පුබ්බ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, මට බුදුවීමට පෙර චතුස්සත්‍ය අවබොධ කිරීමට පළමු බොධිසත්ත්‍ව කාලයේම වේදනාවෝ කවරහුද? වේදනාවට හේතු කවරේද, වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාව නවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරුඬයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද යන මේ අදහස පහළවිය.

’’ මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය.

’’මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා දුක් වේදනා උපෙක්‍ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්‍ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්‍රතිපදාවය. ස්පර්‍ශය නිරුඬවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්‍ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවගේ නිස්සරණයයි.,