අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(13) 3. ගිලාන වර්‍ගය

10. පඤ්ච ව්‍යසන සූත්‍රය

’’මහණෙනි, මේ විපත් පසක් වෙත්. කවර පසක්ද යත්, නෑයන් පිළිබඳ විපතය, සම්පත් පිළිබඳ විපතය, රෝග පිළිබඳ විපතය, ශීලය පිළිබඳ විපතය, දෘෂ්ටිය පිළිබඳ විපතය, යන පසයි. මහණෙනි, සත්ත්‍වයෝ නෑයන් පිළිබඳ විපතය හේතුකොට ගෙණ හෝ සම්පත් පිළිබඳ විපතය හෙතුකොට ගෙන හෝ රෝග පිළිබඳ විපතය හේතුකොට ගෙන හෝ,

’’ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි නූපදිත්.

’’මහණෙනි, සත්ත්‍වයෝ ශීලය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ දෘෂ්ටිය පිළිබඳ විපත හේතුකොට ගෙන හෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ, නරකයෙහි උපදිත්. මහණෙනි, මොහු වනාහි විපත් පස වෙත්.

’’මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්, ඥාති සම්පත්තිය, භොග සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය, ශීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය යන පසයි. මහණෙනි, සත්ත්‍වයෝ ඤාති සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, භෝග සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ආරෝග්‍ය සම්පත්තිය හේතුකොට ගෙණ හෝ

’’ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්‍රවූ දිව්‍ය ලෝකයෙහි නූපදිත්.

’’මහණෙනි, සත්ත්‍වයෝ ශීල සම්පත්තිය හේතුකොට ගෙන හෝ, දෘෂ්ටි සම්පත්තිය හේතුකොට ගෙණ හෝ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, පස්කම් සැපයෙන් අග්‍රවූ දිව්‍ය ලෝකයෙහි උපදිත්. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්’’ යයි වදාළ සේක.

දහතුන් වැනි ගිලාන වර්‍ගය නිමි.