සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
12. ලොකකාමගුණ වර්‍ගය
1. මාරපාස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේයයි කියනු ලැබේ.
’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේයයි කියනු ලැබේ.
’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේයයි කියනු ලැබේ.
’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ වෙත්. ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට පැමිණියේ, මරුවාගේ වසඟයට පැමිණියේ, මළපුඬුව ගෙලෙහි දමන ලද්දේ වන්නේය. මාරයාගේ බැම්මෙන් බඳනා ලද්දාවූ හෙතෙම මාරයා කැමැති දෙයක් කළයුත්තෙක් වන්නේය.
’’මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝද වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේය.
’’මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේය.
’’මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේය.
’’මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේය.
’’මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේය.
’’මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ වෙත්. ඉදින් මහණතෙම එයට නොකැමැති වේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මරුවා වසන තැනට නොපැමිණියේ, මරුවාගේ වසඟයට නොපැමිණියේ, මළපුඬුව මුදන ලද්දේ වන්නේය. මරුවාගේ බැම්මෙන් මිදුනාවූ හෙතෙම මරුවාට කැමැති දෙයක් කළයුත්තෙක් නොවන්නේයයි, (වදාළ සේක.)