සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

9. ඉන්‍ද්‍රියසමපන්න සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

’’සවාමීනි, සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයාය සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයෙක් වේද?,

’’ඉදින් භික්‍ෂුතෙම චකඛු ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ චකඛු ඉන්‍ද්‍රියය කෙරෙහි කලකිරේද, සොත ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ සොත ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඝාණෙන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ඝාණ ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ජිව්හා ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ජිව්හා ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, කාය ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ කාය ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඉදින් මනින්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ චකඛු ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, කලකිරෙමින් නොඇලේද, නොඇල්මෙන් මිදේද, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේද ජාතිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගනීද, මෙතෙකින් වනාහි භික්‍ෂුතෙම සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇත්තෙක් වේයයි, (වදාළේය.)