සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
15. නවපුරාණ වර්‍ගය
10. ධර්‍මකථික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.
’’සවාමීනි, ධර්‍මකථිකයාය, ධර්‍මකථිකයායයි කියනු ලැබේ. සවාමීනි, කොපමණකින් වනාහි ධර්‍මකථිකයෙක් වේද?
’’ඉදින් මහණතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
’’ඉදින් මහණතෙම කණ පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කණ පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කණ පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
’’ඉදින් මහණතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
’’ඉදින් මහණතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
’’ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.
’’ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසුයයි, (වදාළේය.)
නවපුරාණ වර්‍ගය නිමි.
තෙවැනි පණණාසකය නිමි.