සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

10. අව්‍යාකත සංයුත්තය

4. සමුදය සූත්‍රය

(මෙහි පළමුවෙනි ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ පළමුවෙනි ඡෙදය මෙනි.)

“ඇවැත්නි, රූපය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට රූපයට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නා හට නොදක්නාහට රූප නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට රූප නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතුවේයයිද, සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතේ. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි. කියාද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, වේදනාව තත්වූ පරිද්දෙන් නොදන්නා හට නොදක්නාහට වේදනා හෙතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට වේදනා නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට වේදනා නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතුවේයයිද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, සංඥාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සංඥා හෙතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සංඥා නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නා හට නොදක්නාහට සංඥා නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයි සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියාද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, සංස්කාරය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සංස්කාරයට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සංස්කාර නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සංස්කාර නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙම මරණින් මතු වේයයිද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, විඤ්ඤාණ තත්වූපරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට විඤ්ඤාණයට හෙතුව තත්වූපරිද්දෙන් නොදන්නා හට නොදක්නාහට විඤ්ඤාණ නිරොධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට විඤ්ඤාණ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේදවෙයි, නොවන්නේද වේයයි සිතයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද සිතෙයි.

“ඇවැත්නි, රූපය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට රූපයට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට රූප නිරොධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට රූප නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා නොසිතෙයි. සත්ව තෙමේ මරණින්මතු නොවෙයි නොවන්නේත් නොවේයයිද නොසිතෙයි.

“ඇවැත්නි, වේදනාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට වේදනාව තත්වූ පරිදි දන්නාහට දක්නාහට වේදනා නිරොධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට වේදනා නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේදවෙයි නොවන්නේදවෙයි කියා නොසිතෙයි.

“සත්වතෙමේ මරණින්මතු නොවෙයි. නොවන්නේත් නොවේයයිද නොසිතයි.

“ඇවැත්නි, සංඥාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සංඥාවට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට සංඥා නිරොධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සංඥා නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතයි. සත්ව තෙමේ මරණින්මතු වන්නේදවෙයි නොවන්නේදවෙයි කියාද නොසිතයි. සත්වතෙමේ මරණින්මතු නොවදියි නොවන්නේද වේයයි නොසිතෙයි.

“ඇවැත්නි, සංස්කාරය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සංස්කාරයට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට සංස්කාර නිරොධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සංස්කාර නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ.

“සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතයි, සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා නොසිතෙයි.

“සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේත් නොවේයයිද නොසිතෙයි.

“විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් දක්නාහට විඤ්ඤාණයට හෙතුව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට විඤ්ඤාණ නිරොධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට විඤ්ඤාණ නිරොධයට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතයි. සත්ව තෙමේ මරණින් මතු නොවේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වේයයිද නො සිතෙයි සත්වතෙමේ මරණින් මතු නොවෙයි නොවන්නේද නොවේයයිද නොසිතයි. ඇවැත්නි, යම් කාරණයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණ ලද්දේද මේ ඊට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”