සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

5. ජරා වර්ගය

3. සාකේත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකෙත නුවර මිගදාය නම්වූ අඳුන්වනයෙහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක “මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්‍රියයෝ පංච බලයෝ වෙත්ද, පංච බලයෝ පංච ඉන්ද්‍රියයෝ වෙත්ද, එබඳු ක්‍රමයක් ඇත්තේද?”

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”

[2] ‘මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්‍රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්‍රියයෝ වෙත්ද, මහණෙනි, එබඳු ක්‍රමයක් ඇත. මහණෙනි, යම් ක්‍රමයකින් පංච ඉන්ද්‍රියයෝ පංච බලයෝ වෙත්ද පංච බලයෝ පංච ඉන්ද්‍රියයෝ වෙත්ද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද?

[3] “මහණෙනි යමක් සද්ධින්ද්‍රිය වෙයිද, එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලයද වෙයිද, එය සද්ධා ඉන්ද්‍රිය වෙයි යමක් විරිය ඉන්ද්‍රිය වෙයිද, එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරියින්ද්‍රිය වෙයි. යමක් සතින්ද්‍රිය වෙයිද, එය සති බලය වෙයි. යමක් සති බලය වෙයිද, එය සතින්ද්‍රිය වෙයි. යමක් සමාධින්ද්‍රිවේද එය සමාධි බලය වෙයි. යමක් සමාධි බලය වෙයිද, එය සමාධින්ද්‍රිය වෙයි. යමක් පඤ්ඤින්ද්‍රිය වෙයිද, එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද, එය පඤ්ඤින්ද්‍රිය වෙයි.

[4] “මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණාවූ පෙරදිගට බස්නාවූ පෙරදිගට ගලන්නාවූ ගඟක් වෙයිද ඒ ගඟ මැද දිවයිනක් වෙයිද මහණෙනි, යම් ක්‍රමයකින් ඒ ගඟ එකම ජල පහරක්යයි ව්‍යවහාරයටයයිද, මහණෙනි, එවැනි ක්‍රමයක්ද ඇත. යම් ක්‍රමයකින් ඒ ජල පහර දෙකකැයි ව්‍යවහාරයටයේද, මහණෙනි, එවැනි ක්‍රමයක්ද ඇත්තේය

[5] “යම් ක්‍රමයකින් ඒ ගංගාවෙහි එකම ජල පහරකැයි ව්‍යවහාරයට යෙයිද මහණෙනි ඒ ක්‍රමය කවරේද? මහණෙනි, ඒ දිවයිනේ පෙර කෙළවර යම් ජලයක් වෙයිද පසු කෙළවරෙහි යම් ජලයක් වෙයිද, යම් ක්‍රමයක් නිසා මේ ජලය එකම ජල පහරකැයි ව්‍යවහාරයට යෙත්ද, මහණෙනි, මේ වනාහි එකම ජලපාරකියි ව්‍යවහාරයට යන ක්‍රමය වෙයි.

යම් ක්‍රමයකින් ඒ ගංගාවගේ ජලපහර දෙකකැයි ව්‍යවහාරයට යේද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද, මහණෙනි, ඒ ද්වීපයාගේ උතුරු පැත්තෙන් යම් ජලයක් වෙයිද, දකුණු පැත්තෙන් යම් ජලයක් වෙයිද, ඒ දිය පාරවල් දෙකකැයි යන ව්‍යවහාරයට පැමිණෙයි. මේ වනාහි ඒ දියපාරවල් දෙකකැයි ව්‍යවහාරවන ක්‍රමය වෙයි.

[6] “මහණෙනි, යමක් සද්ධින්ද්‍රිය වෙයිද එය සද්ධා බලය වෙයි. යමක් සද්ධා බලය වෙයිද එය සද්ධින්ද්‍රිය වෙයි. යමක් විරියින්ද්‍රිය වෙයිද එය විරිය බලය වෙයි. යමක් විරිය බලය වෙයිද එය විරින්ද්‍රිය වෙයි. යමක් සතින්ද්‍රිය වෙයිද එය සතිබලය වෙයි. යමක් සතිබලය වෙයිද එය සතින්ද්‍රිය වෙයි. යමක් සමාධින්ද්‍රිය වේද එය සමාධිබලය වෙයි. යමක් සමාධිබලය වෙයිද එය සමාධින්ද්‍රිය වෙයි. යමක් පඤ්ඤින්ද්‍රිය වෙයිද එය පඤ්ඤා බලය වෙයි. යමක් පඤ්ඤා බලය වෙයිද එය පඤ්ඤින්ද්‍රියයි.

[7] “මහණෙනි, පංචෙන්ද්‍රියයන් වැඩීම හෙතුකාටගෙන බහුල කිරීම හෙතුකොටගෙන භික්ෂුව ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ අත්බැව්හිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.”