අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

1. දිඨධම්ම විහරණ සූත්‍රය

’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.

’’කවර සයෙකින්ද යත්? කාම සිතුවිල්ලෙන්, නපුරු සිතුවිල්ලෙන්, හිංසා සිතුවිල්ලෙන්, කාම වැටහීමෙන්, නපුරු වැටහීමෙන්, හිංසා වැටහීමෙන්ය. මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.

’’මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්‍ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.

’’කවර සයෙකින්ද යත්? කාමයෙන් නික්මීමේ සිතුවිල්ල, නපුරු නැති සිතුවිල්ල, හිංසා නැති සිතුවිල්ල, කාමයෙන් නික්මීමේ වැටහීම, නපුරු නැති වැටහීම, හිංසා නැති වැටහීම. මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්‍ෂුතෙම මේ ආත්මයෙහි හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු වියයුතු වෙයි.