සංයුත්තනිකායො

සගාථ වර්ගය

11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය

1. සුවීර වර්‍ගය

1. සුවීර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන්ට කථාකළසේක. ඒ භික්‍ෂූහු ’’ස්වාමීනී’’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ’’ මහණෙනි, පෙරවූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියහ. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේවපුත්‍රයාට කථා කළේය, ’පුත සුවීරය, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, පුත සුවීර, යන්න. අසුරයන්ගේ පෙරමුණට පැමිණෙන්න.’ මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ’එසේය ස්වාමීණි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය.

’’මහණෙනි, දෙවනුවත් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේව්පු්‍රතුට කථා කළේය, ’දරුව සුවීරය, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, යන්න, දරුව සුවීර, අසුරයන්ගේ පෙරමුණට පැමිණෙන්න.’ මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ’එසේය ස්වාමීණි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී දෙවනුවත් (ගමන) ප්‍රමාද කෙළේය.

’’තුන්වෙනුවත් මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දේව්පුතුට කථා කළේය, ’දරුව සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුවීර, යන්න. අසුරයන් පෙරමුණට පැමිණෙන්න.’යි ( කීය. ) මහණෙනි, සුවීර දෙව්පුත් තෙම ’එසේය ස්වාමීණි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට පිළිවදන්දී තුන්වෙනුවද ප්‍රමාද කෙළේය.

’’මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුවීර දෙව්පුතුට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’නැගී නොසිටින, වීර්‍ය්‍ය නොකරන තැනැත්තේ යම් තැනෙක සැපතට පැමිණේද, සුවීරය, එහි යව, මාද එහිම පමුණුව.’’

’’( සුවීර මෙසේ කීය: )’උට්ඨාන වීර්‍ය්‍ය රහිතවූ තැනැත්තේ අලස වන්නේය. කටයුතු නොකර වන්නේය. ( එබන්දෙක් ) සියලු කාමයෙන් සමෘද්‍ධයෙක් වන්නේ නම් ශක්‍රය, ( ඔහු සිටින ) ඒ උත්තම ස්ථානය මට කිව මැනව.’

’’( ශක්‍ර දෙවිතෙම මෙසේ කීය: ) නැගී සිටින වීර්‍ය්‍ය නැත්තාවූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඉතා මහත් සුඛයට පැමිණේද, සුවීරය, එහි යව, මාද එහිම පමුණුව.’’

’’( සුවීර දෙව් පුත් මෙසේ කීය: ) ’දේව ශ්‍රේෂ්ඨවූ ශක්‍රය, කටයුතු නොකිරීමෙන් යම් උත්තම සැපතක් ලබමුද, ශක්‍රය, ශෝක නැත්තාවූ, දැඩි වෙහෙස නැත්තාවූ ඒ උතුම් මග මට කිව මැනව.’’

’’( ශක්‍ර දෙවිතෙම මෙසේ කීය: ) ’වැඩ නොකිරීමෙන් කිසි පුද්ගලයෙක් තෙම කිසි තැනක ජීවත් නොවේද, ( එබඳු තැනෙක් ) ඉදින් ඇත්තේද, එහි යන මග නම් නිර්‍වාණමාර්‍ගයයි. සුවීර, එහි යව. මාද එහිම පමුණුව’ යි ( දේවේන්‍ද්‍රතෙම කීය. )

’’මහණෙනි, තමන්ගේ පුන්‍යඵලය නිසා ජීවත්වන තාවතිංස දෙවියන්ට අධිපතිව රාජ්‍යය කරවන ඒ ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි නැගී සිටින වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නාවූ කෙනෙකි. මහණෙනි, මේ ශාසනයෙහිද ඒ ( ගුණය ) හොබවව්, තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදි වූවාහු, නොපැමිණි දෙයට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ දේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද උතසාහ කරව්, වීර්‍ය්‍ය වඩව්, උත්සාහ කරව්’’ යි ( වදාළ සේක. )