සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

2. ආහාර වර්ගය

2. ඵග්ගුන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාරයෝ (හෙතු) සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශාහාරය, තුන්වැනිවූ මනොසංචෙතනාහාරය, සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි. මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය “ස්වාමීනි, කවරෙක් වනාහි විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.

භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි මෙසේ නොකියමි මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි. විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි එසේ නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?”

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි කියා විසඳීම

සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කරයිද?”

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක “මම ආශා කෙරේයයි නොකියමි. ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා මෙසේ යමෙක් අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී වේදනාව නිසා තණ්හාව (ආශාව) ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මම උපාදානය කෙරේයයි නොකියමි. ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.

“ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම හෙතුකොටගෙන ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීම හෙතුකොටගෙන වේදනාව නැතිවේ. වේදනාව නැතිවීම හෙතුකොටගෙන තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීම හෙතුකොටගෙන උපාදානය නැතිවේ. උපාදානය නැතිවීම හෙතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හෙතුකොට

ගෙන ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීම හෙතුකොටගෙන ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.

(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)