සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
6. අනුරුද්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර ආත්ම භාවයෙහි භාර්‍ය්‍යාව වූ ජාලිනී නම් වූ එක්තරා තව්තිසා වැසි දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් ( මෙසේ ) කීවාය:
’’ඔබ පෙර යම් දෙව් ලොවක වුසූයෙහි ද එහි සිත පිහිටුවා, ( එවිට ) සියලු කාමයන් සර්වප්රකාරයෙන් සමෘද්ධවූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව, පිරිවරණ ලදුව ( ඔබ ) බබළන්නෙහිය.
( අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මෙසේ කීය. ) දිව්යඞ්ගනාවෝ දුකට පැමිණියාහුය, පඤ්චස්කන්ධයෙහි පිහිටියාහුය. දිව්යඞ්ගනාවන් විසින් පතනලද ඒ සත්ත්වයෝද දුකට පැමිණියාහුය.
( දෙව් දූ මෙසේ කීවාය: ) ’’යම් කෙනෙක් ඉසුරු ඇත්තාවු, තාවතිංස දිව්‍ය පුරුෂයන්ගේ වාසස්ථානවූ, නන්දන නම් වූ උද්යානවනය නොදකිත් ද, ඔවුහු සැපය නොදකිත්.’’
( අනුරුද්ධ ස්ථවිරයෝ මෙසේ කීය: ) ’’අඥානවූ නුඹ රහතුන්ගේ වචනය නියම ලෙසින් නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, ඉපදීම හා නැසීම ස්වභාවකොට ඇත්තෝය, ඉපිද නැතිවෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීමය කියන ලද නිවන සැපය.
’’ජාලිනිය, දේවකායෙහි නැවත මාගේ විසීමෙක් නැත. ඒ ඒ තන්හි ඉපදීමයයි කියන ලද සංසාරය නිමවන ලදී. දැන් නැවත ඉපදීමක් මට නැත.’’