සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

3. දසබල වර්ගය

8. භික්ෂු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ජරාමරණය දනියි. ජරාමරණයට හේතුව දනියි. ජරාමරණය නැතිවීම දනියි. ජරාමරණය නැතිකරන මාර්ගය දනියි. ජාතිය දනියි. ජාතිය ඇතිවීම දනියි. ජාතිය නැතිවීම දනියි. ජාතිය නැතිකරන මාර්ගය දනියි. භවය දනියි. භවය ඇතිවීම දනියි. භවය නැතිවීම දනියි. භවය නැතිකරන මාර්ගය දනියි. ඉපදීම දනියි. ඉපදීම ඇතිවීම දනියි. ඉපදීම නැතිවීම දනියි. ඉපදීම නැතිකරන මාර්ගය දනියි. තණ්හාව දනියි. තණ්හාව ඇතිවීම දනියි. තණ්හාව නැතිවීම දනියි. තණ්හාව නැතිකරන මාර්ගය දනියි. වේදනාව දනියි. වේදනාව ඇතිවීම දනියි. වේදනාව නැතිවීම දනියි. වේදනාව නැති කරන මාර්ගය දනියි. ස්පර්ශය දනියි. ස්පර්ශය ඇතිවීම දනියි. ස්පර්ශය නැතිවීම දනියි. ස්පර්ශය නැතිකරන මාර්ගය දනියි. සළායතන දනියි. සළායතන ඇතිවීම දනියි. සළායතන නැතිවීම දනියි. සළායතන නැතිකරන මාර්ගය දනියි. නාමරූප දනියි. නාමරූප ඇතිවීම දනියි. නාමරූප නැතිවීම දනියි. නාමරූප නැතිකරන මාර්ගය දනියි. විඤ්ඤාණය දනියි. විඤ්ඤාණය ඇතිවීම දනියි. විඤ්ඤාණය නැතිවීම දනියි. විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනියි. සංස්කාර දනියි. සංස්කාර ඇතිවීම දනියි. සංස්කාර නැතිවීම දනියි. සංස්කාර නැති කරන මාර්ගය දනියි.

මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්වනිකායෙහිවූ; ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත්වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන්වීමක්, මෘත්‍යුනම්වූ මරණයක්, කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ මෙසේයි. ඒ දිරීමද මේ මැරීමද මෙසේයි.

“මහණෙනි, මෙය ජරායයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරාමරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැති වීමෙන් ජරාමරණය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මා සතිය, සම්මාසමාධියයි.

“මහණෙනි, ජාතිතොමෝ කවරීද? ඒ ඒ සත්වනිකායෙහි ඒ ඒ සත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. භවය ඇතිවීමෙන් ජාතිය ඇතිවේ භවය නැතිවීමෙන් ජාතිය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම ජාතිය නැති කිරීමට ගමන් කරන, මාර්ගයයි හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධියයි.

“මහණෙනි, භවය කවරේද? මහණෙනි, කාම භවය, රූප භවය සහ අරූප භවයයි මේ භව තුනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ. උපාදානය ඇතිවීමෙන් භවය ඇතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම භවය නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. මේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය සම්මාවායාමය සම්මාසතිය, සහ සම්මාසමාධියි.

“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදන යයි මේ උපාදානයන් සිව් දෙනෙක්වේ. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ. තණ්හාව ඇතිවීමෙන් උපාදානය ඇතිවේ. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම උපාදානය නැති කිරීමට ගමන්කරන මාර්ගයයි හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.

“මහණෙනි, තණ්හාතොමෝ කවරීද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි මේ තණ්හා සමූහයන් සය දෙනෙක් වේ. මහණෙනි, මෙය තණ්හාව යයි කියනු ලැබේ. වේදනාව ඇතිවීමෙන් තණ්හාතොමෝ ඇති වන්නීය. වේදනාව නැතිවීමෙන් තණ්හාතොමෝ නැති වන්නීය. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සහ සම්මාසමාධියයි.

“මහණෙනි, වේදනා තොමෝ කවරීද? මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, සෝතසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ඝාණසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ජිව්හා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව සහ මනොසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව යයි මේ වේදනා සමූහ සයකි. මහණෙනි මෙය වේදනාවයයි කියනු ලැබේ. ස්පර්ශය ඇතිවීමෙන් වේදනාව ඇති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේදනාව නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.

“මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛුසම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය සහ මනොසම්ඵස්සයි. මේ ස්පර්ශ සමූහ සයකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ. සළායතන ඇතිවීමෙන් ස්පර්ශය ඇතිවේ. සළායතන නැති වීමෙන් ස්පර්ශය නැතිවෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශ නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය සම්මාසතිය, සහ සම්මාසමාධියයි.

“මහණෙනි, සළායතන කවරේද? චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනොයතනයයි. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ. නාමරූප ඇතිවීමෙන් සළායතන ඇතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම සළායතනය නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මා කම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.

“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සතර මහා භූත සමූහය ගෙන පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. ඒ නාමයද, මේ රූපයද, මෙසේයි. මහණෙනි, මෙය නාම රූපයයි කියනු ලැබේ. විඤ්ඤාණය ඇතිවීමෙන් නාම රූප ඇතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාම රූප නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධිය.

“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය කායවිඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණයයි මේ සමූහ සයකි. මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ. සංස්කාර ඇතිවීමෙන් විඤ්ඤාණය ඇතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මා සමාධියයි.

“මහණෙනි, සංස්කාර කවරේද? මහණෙනි, කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරයයි මේ සංස්කාර තිදෙනෙකි. මහණෙනි, මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. අවිජ්ජාව ඇතිවීමෙන් සංස්කාර ඇතිවේ. අවිජ්ජා නැතිවීමෙන් සංස්කාර නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කාර නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචා, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මා සතිය සහ සම්මාසමාධියයි.

මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ ජරා මරණය දනීද, මෙසේ ජරාමරණයට හේතුව දනීද, මෙසේ ජරාමරණය නැතිවීම දනීද මෙසේ ජරාමරණය නැති කරන මාර්ගය දනීද,

“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේ යයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ කලකිරීමේ නුවණ ඇත්තේ යයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ ජාතිය දනීද, (ඉපදීම) ඇතිවීම දනීද, ජාතිය (ඉපදීම) නැතිවීම දනීද, ජාතිය (ඉපදීම) නැති කරන මාර්ගය දනීද, මහණෙනි මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ගනම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ භවය දනීද, භවය ඇතිවීම දනීද, භවය නැතිවීම දනීද, භවය නැති කරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම්හෙයකින් මහණතෙම මෙසේ උපාදානය දනීද, උපාදානය ඇතිවීම දනීද, උපාදානය නැතිවීම දනීද, උපාදානය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, යම් ආර්ය ශ්‍රාවකතෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යා ධර්ම ශ්‍රෝතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණ තෙම මෙසේ තණ්හාව දනීද, තණ්හාව ඇතිවීම දනීද, තණ්හාව නැතිවීම දනීද, තණ්හාව නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්ත යයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ වේදනාව දනීද, වේදනාව ඇතිවීම දනීද, වේදනාව නැතිවීම දනීද, වේදනාව නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ ස්පර්ශය දනීද, ස්පර්ශය ඇතිවීම දනීද, ස්පර්ශය නැතිවීම දනීද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ සළායතන (ඉන්ද්‍රිය) දනීද, සළායතන (ඉන්ද්‍රිය) ඇතිවීම දනීද, සළායතන (ඉන්ද්‍රිය) නැතිවීම දනීද, සළායතන (ඉන්ද්‍රිය) නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ නාම රූපදනීද, නාමරූප ඇතිවීම දනීද, නාමරූප නැතිවීම දනීද, නාමරූප නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණය ඇතිවීම දනීද, විඤ්ඤාණය නැතිවීම දනීද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ සංස්කාර දනීද, සංස්කාර ඇතිවීම දනීද, සංස්කාර නැතිවීම දනීද, සංස්කාර නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.