ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

2. චූල (සුළු) වර්ගය

10. උට්ඨාන සූත්‍රය

නැගිටිව්, හිඳගනිව්, තොපට නිදීමෙන් කවර ප්‍රයොජනයක්ද හුලින් විදින ලදුව දුකින් පෙලෙන ලෙඩුන්ට කවර නිදීමක්ද

“නැගිටිව්, හිඳගනිව්, නිර්වාණය පිණිස දැඩිව හික්මෙව්. මාරයා තොප පමායයි දැන වසඟයට ගියවුන් මුළා කළේය.

“යම් තෘෂ්ණාවකින් එය පතන දෙවියෝද මනුෂ්‍යයෝද ඇලී සිටිත්ද, ඒ තෘෂ්ණාව ඉක්මවව්. තොප විසින් මොහොත පැහැර නොහැරිය යුතුය. ක්ෂණය ඉක්මවූවාහු නිරයට ගොස් ශොක කරත්.

“සිහිය නැතිකම කිලුටකි. සිහිය නැතිකම නැවත නැවත උපන්නේ කිලුටකි. සිහියෙන් වෙන් නොවීම නම්වූ අප්‍රමාදයෙන්ද (කෙලෙස් නසන දැනීම නම්වූ) විද්‍යාවෙන්ද තමාගේ රාගාදී උල්පස උදුරන්නේය.”

උට්ඨානසුත්තං දසමං නිට්ඨිතං.