ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
2. චූල (සුළු) වර්ගය
9. “කිංසීල සූත්‍රය
“කවර සීලයකින් යුත් කවර හැසිරීමකින් යුත් කවර වැඩක් කරන මනුෂ්‍යතෙම මනාව ශාසනයෙහි පිහිටියේ සියලු අර්ථයන්ගෙන් උතුම්වූ අර්හත්වයට පැමිණෙන්නේද?
“වෘද්ධයන් පුදන්නේ ඊර්ෂ්‍යා නොකරන්නේ වන්නේය. ගුරුන් දැකීමට කල් දන්නේය. (සමථ විදර්ශනා යුක්ත) කියන ලද ධර්ම කථාවට කාලය දන්නේය. යහපත් වචනයන් සකස්කොට අසන්නේය.
“තද බව දුරුකොට යටත් පහත් පැවතුම් ඇතිව ගුරුවරුන් සමීපයට සුදුසු කාලයෙහි යන්නේය. කියනලද කරුණද, පාලි ධර්මයද සීලයද මහණදමද (සෙසු සසුන් පිළිවෙත්ද) සිහිකරන්නේය. හැසිරෙන්නේය.
(සමථ විදර්ශනා) ධර්මයෙහි ඇලෙන්නේය, එහි යෙදෙන්නේය. ධර්මයෙහි සිටින්නේය. ධර්මයෙහි තීරණය දන්නේය. ධර්මය දූෂණය වන කථා නොකරන්නේය. සත්‍යවූ සුභාෂිතයන්ගෙන් කල් යවන්නේය.
“මදසිනාව, නිරර්ථක කථාකීම, වැලපීම, කිපීම, වඤ්චාව, නැතිගුණ ඇඟවීම, ගිජුකම, මානය, එකට එක කිරීම, ඵරුෂවචන රාගාදී කසට, අධික තෘෂ්ණාව අත්හැර පහවූ මත්වීම ඇතිව සන්සුන් සිත් ඇතිව හැසිරෙන්නේය.
“සුභාෂිතයෝ දන්නා ලද සාරය ඇත්තෝය ශ්‍රැතයද දන්නා ලද සමාධිය සාරයකොට ඇත්තේය. යම් මිනිසෙක් සාහසික වේද ප්‍රමාද වේද ඔහුට නුවණද ශ්‍රැතය (ඉගැනීම) ද නොවැඬේ.
“යම් කෙනෙක් ආර්යයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ඇලුනේද ඔව්හු කයින් වචනින් මනසින් ශ්‍රෙෂ්ඨය. ඔව්හු නිවන්හි ඇලුණාහු සමාධියෙහි පිහිටියාහු ශ්‍රැතයේද නුවණේද සාරයට පැමිණියාහුය.”
කිංසීලසුත්තං නවමං නිට්ඨිතං.