ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

2. චූල (සුළු) වර්ගය

8. නාවා සූත්‍රය

“යම් හෙයකින් පුරුෂයා ධර්මය දන්නේද දෙවියෝ ශක්‍රයාට මෙන් ඔහු පුදත්. හෙතෙම පුදන ලද්දේ, පැහැදුණු සිත් ඇත්තේ බහුශ්‍රැතවූයේ ධර්ම පහළ කරයි.

“නුවණැති යමෙක් එය තේරුම් සහිත කොට අසා ධර්මයට හා අනුධර්මයට අනුව පිළිපදින්නේ නොපමාව එබන්දකු ඇසුරු කරයිද හෙතෙම විශෙෂයෙන් දන්නේ අනුන්ට අවබොධ කරන්නේ දක්ෂද වේ.

“කුඩාවූ නුවණ නැති අනාගතය සිතන ඊර්ෂ්‍යාකරන බාලයා ආශ්‍රය කරන්නේ මෙලොවම ධර්මය නොවඩා අත්නොහළ සැක ඇත්තේ මරණයට පැමිණෙයි.

“යම්සේ මනුෂ්‍යයෙක් බොහෝ ජලය ඇති ලෙලදී යන පැතුරුණු සැඩ පහර ඇති නදියකට බැස යටිගඟට ගෙන යන්නාවූ ගසාගෙන යන්නාවූ හෙතෙම අන්‍යයන් එතෙර කරවන්ට කිම සමර්ථවන්නේද,

“එසේම ධර්මය නොවඩා බහුශ්‍රැතයන්ට ඇහුම්කන් නොදී, තෙමේ නොදන්නේ සැක දුරුනොකළේ වේද ඔහු අනුන්ට මෙනෙහි කරවන්ට සමර්ථද,

“යම්සේ සවිය ඇති නැවකට නැග ලෑලි වලින් හා හබලින් යුක්තවූයේද හෙතෙම එහි උපාය දනීද, දක්ෂද එහි අනික් බොහෝදෙනාද එගොඩ කරවයි.

“එසේම සිවුමග ඤාණයෙන් යුක්ත වඩන ලද සිත් ඇති, බහුශ්‍රැතවූ කම්පානොවන ස්වභාව ඇති හෙතෙම කන් යොමු කිරීමවූ උපනිශ්‍රය සම්පත්තියෙන් යුත් අනුන් අවබොධ කරවීමට දන්නේය.

“එහෙයින් ඒකාන්තයෙන් නුවණැති බහුශ්‍රැත සත්පුරුෂයකු භජනය කරව්. හෙතෙම අර්ථය දැන පිළිපදින්නේ දන්නා ලද ලොකොත්තර ධර්මය ඇත්තේ සැප ලබන්නේය.”

නාවාසුත්තං අට්ඨමං නිට්ඨිතං.